සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

Keepers of Rationalist Flame L to R - Abraham Kovoor, Carlo Fonseka, Dharmapala Senaratne

Assorted charlatans and religious zealots across the island of Sri Lanka must have heaved a collective sigh of relief when they heard that Dharmapala Senaratne was no more. He had made it his business to make life difficult for those preying on the gullible public. Dharmapala was President of the Sri Lanka Rationalist Association (SLRA), a small group of earnestly sceptical enquirers who won’t take anyone’s word about anything. They want to investigate and debate.

The voluntary group was originally set up in 1960 by the late Dr Abraham Thomas Kovoor (1898 – 1978), a Kerala-born science teacher who settled down in newly independent Ceylon and, after his retirement in 1959, took to investigating so-called supernatural phenomena and paranormal practices. He found adequate physical or psychological explanations for almost all of them. In that process, he exposed many so-called ‘god men’ and black magicians who thrive on people’s misery and superstitions.

My column (in Sinhala) for Ravaya newspaper on 22 Jan 2012 is an exploration of the many challenges that rationalists and free thinkers face in today’s Sri Lanka. It’s also a critique of our mainstream media, where space/time for open discussion and debate today is LESS than what it was a generation ago — despite the channel explosion and proliferation of print publications.

I have covered the same ground in an English op ed essay published on Groundviews on 13 Jan 2012, titled Can Rationalists Awaken the Sleep-walking Lankan Nation?

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි!

අපේ සමාජයේ කී දෙනෙකු මේ වටිනා උපදේශය අනුගමනය කරනවා ද? කටකථා හා ප‍්‍රලාපවලට රැවටෙන, අන්ධ විශ්වාසවල එල්බ ගෙන සිටින හා ප‍්‍රතිරූප වන්දනාවේ යෙදෙන අය බහුල වත්මන් ලක් සමාජයේ, විවෘත මනසකින් යුතුව විචාරශීලිව කටයුතු කිරීම අසීරු කාරියක්. නිදහස් මතධාරියා සැක කටයුතු පුද්ගලයෙකු ලෙස හංවඩු ගැසීමේ අවදානමක් ද තිබෙනවා.

මේ අභියෝග මැද්දෙන් නොසැලී, නොබියව අඩ සියවසකට වැඩි කාලයක් කටයුතු කර ඇති ප‍්‍රතිපත්තිගරුක කණ්ඩායමක් නම් ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමයයි. 2005 සිට එහි සභාපති ලෙස කටයුතු කළ නීතිඥ ධර්මපාල සේනාරත්න 2011 දෙසැම්බර් අගදී මිය ගියා. ඔහුගේ වියෝව නිමිත කර ගෙන හේතුවාදීන්ගේ වත්මන් භූමිකාව හා දායකත්වය ගැන අද ටිකක් කථා කරමු.

නිර්දේශපාලනීය, නිර්ආගමික හා වෙනත් කිසිදු ලේබලයකින් තොර වූ හේතුවාදී සංගමය (Sri Lanka Rationalists Association) ආරම්භ කළේ ආසියාවේ බිහි වූ විශිෂ්ඨතම හේතුවාදියෙකු හා නිදහස් චින්තකයෙකු ලෙස සැලකෙන ආචාර්ය ඒබ‍්‍රහම් තෝමස් කොවූර් (1898 – 1978) විසින්. හේතුවාදීන් අද දක්වා පවත්වා ගෙන එන්නේ අඩ සියවසකට පෙර කොවූර් දැල් වූ විචාරශීලි ගවේෂණයේ පහන් සිළුවයි. එහෙත් අද පවතින අන්ධකාරයට හා සැඩ සුළංවලට එරෙහිව මේ පහන් සිළුව ප‍්‍රමාණවත් ද?

හේතුවාදීන් යනු ඉන්ද්‍රීය ගෝචර ප‍්‍රත්‍යක්‍ෂයන් (facts) හා නිරීක්‍ෂණ (observations) සැලකිල්ලට ගනිමින්, මේ සාධක තර්කානුකූලව ගොනු කරන පිරිසක්. ඔවුන් ඇදහිලි හා විශ්වාස මත එල්බ ගන්නේ නැහැ. හැම දෙයක් ම ප‍්‍රශ්න කරනවා. මේ විචාරශීලි බව වත්මන් සංකීර්ණ සමාජයේ යහතින් ජීවත්වීමට අත්‍යවශ්‍ය කුසලතාවක් (survival skill).

ඉන්දියාවේ කේරල ප‍්‍රාන්තයේ උපත ලබා, කල්කටාවෙන් විද්‍යා අධ්‍යාපනය ලැබු කොවූර් 1950 දශකයේ ශ‍්‍රී ලංකාවට ආවේ විද්‍යා ගුරුවරයෙකු ලෙස. තර්ස්ටන් විද්‍යාලයේ විද්‍යා ගුරුවරයා ලෙස 1959දී විශ‍්‍රාම ලැබූ ඔහු, ස්ථිර පදිංචියට ශ‍්‍රී ලංකාව තෝරා ගත්තා. ඔහු ප‍්‍රකට වූයේ විශ‍්‍රාම ගැනීමෙන් පසු වඩාත් සක‍්‍රිය ලෙස නියැළුණු හේතුවාදී විමර්ශන කටයුතු නිසායි. භූතයන්, හොල්මන්, ආවේශ වීම් ඇතුළු අද්භුත හෝ අසාමාන්‍ය යැයි පිළිගැනෙන සිදුවීම් හා සම්ප‍්‍රදායන් රාශියක් ඔහුගේ විමර්ශනයට ලක් වුණා. තර්කානුකූලව, ගවේෂණාත්මකව විග‍්‍රහ කරන විට මේවා සියල්ල ම පාහේ භෞතික ලෝකයේ විද්‍යාත්මක සංකල්පවලින් හෝ මනෝවිද්‍යාත්මක හේතු මගින් හෝ පහදා දීමට ඔහු සමත් වුණා.

‘‘තමන්ගේ ආශ්චර්යයන් පරීක්‍ෂා කිරීමට ඉඩ නොදන්නා වංචනිකයෙක්. එබඳු දේ විමසීමට ධෛර්යය නොමැත්තා පහසුවෙන් රැවටිය හැකි කෙනෙක්. එබඳු ආශ්චර්යයන් හා මතවාදයන් ඉස්මුදුනින් පිළිගෙන අදහන්නා මෝඩයෙක්’’ යැයි කොවූර් එදා කී දේ අදටත් හරියට ම ගැලපෙනවා.

කොවූර්ගේ හපන්කම් ගැන අපේ පාඨකයන් බොහෝ දෙනෙකු අසා, කියවා තිබෙනවා. ඒ නිසා එය පුන පුනා කීමට අවශ්‍ය නැහැ. කොවූර් 1978දී මිය යන විට මගේ වයස අවුරුදු 12යි. ඒ නිසා කොවූර් ජීවමානව දැක අසා ගන්නට හෝ මුණගැසෙන්නට හෝ මට අවස්ථාවක් ලැබුණේ නැහැ. එහෙත් ඔහුගේ සමකාලීනයන්ට අනුව කොවූර් කිසි දෙයකින් නොසැළුණු, දැඩි අධිෂ්ඨානයක් හා තියුණු බුද්ධියකින් හෙබි කෙනෙක්. උපන් රටින් තවත් රටකට සංක‍්‍රමණය වී, අළුත් රටේ ජන සමාජයට බද්ධ වී එහි ජන විඥානයට ධනාත්මකව දායකවීම පහසු කාරියක් නොවෙයි.

කොවූර් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය ආරම්භ කළේ 1960දී. විවෘත මනසකින් යුත් විචාරශීලී ලාංකිකයන් රැසක් එයට ඇද ගන්නට ඔහු සමත් වුණා. එනයින් බලන විට කොවූර් හේතුවාදී සංගමයෙන් හා ව්‍යාපාරයෙන් ඔබ්බට ගිය විද්‍යාත්මක චින්තන විප්ලවයකට මුල පිරුවා යයි කිව හැකියි. මේ සඳහා විද්‍යාව ඉහළට උගත් එහෙත් ඒ උගත්කමින් මනස මොට කර නොගත් බුද්ධිමතුන් ගණනාවක් මෙන්ම සිංහලෙන් හා දෙමලෙන් ජන සමාජයට මේ පණිවුඩ ගෙන යා හැකි ලේඛන හැකියාව ඇති කලාකරුවන් කිහිප දෙනකු ද ඔහු සම්බන්ධ කර ගත්තා.

එයින් මුල් ගණයට වැටුණු අයගෙන් වඩාත් ප‍්‍රකට වූ චරිතයක් වෛද්‍ය කාලෝ ෆොන්සේකා. තරුණ වෛද්‍යවරයකු හැටියට 1970 දී පමණ ඔහු ගිනි පෑගීමේ විද්‍යාත්මක පදනම ගවේෂණාත්මකව ඔප්පු කළේ එය කිසිදු හාස්කමක් හෝ දේවබලයක් හෝ නැතිව කළ හැකි බව ප‍්‍රායෝගිකව පෙන්වා දෙමින්.

කොවූර් වටා ඒකරාශී වූ දෙවැනි ගණයේ චරිත අතර පසු කලෙක ප‍්‍රවීණ ලේඛකයන් වූ අජිත් තිලකසේන හා අමුණුගොඩ තිලකරත්න ද සිටියා. ධර්මපාල සේනාරත්න තරුණයකු හැටියට හේතුවාදී ව්‍යාපාරයට ඇදී ආවේ මේ 1960-1970 යුගයේයි.

මෙරට හේතුවාදී ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය වූයේ ද ඒ දශක දෙකයි. එයට එක් හේතුවක් නම් කොවූර් හා ඔහු වටා එක් වූ දක්‍ෂයන් පිරිසයි. එහෙත් එවකට ලක් සමාජය අදට වඩා එදා විවෘත හා බුද්ධිගෝචර වූ බවට ද තර්ක කළ හැකියි. ඒ ඇයි?

1963 ජන සංගණනයට අනුව මෙරට ජනගහනයෙන් සියයට 76.8ක් දෙනා සාක්‍ෂරතාවය ලබා සිටියා. 1971 සංගණනය වන විට එය සියයට 78.5 දක්වා දියුණු වූ අතර මේ වන විට එය සියයට 92ක් පමණ වනවා. මෙරට අධ්‍යාපන මට්ටම් හා ඒවාට යොමු වන ජන සංඛ්‍යාව හා ප‍්‍රතිශතයන් ඉහළ ගොස් ඇති බව පැහැදිලියි.

සන්නිවේදන තාක්‍ෂණයය පැත්තෙන් බැලූ විට ද සංඛ්‍යාත්මකව විශාල වැඩිවීමක් සිදු වී තිබෙනවා. දුරකථන, රේඩියෝ හා පුවත්පත් පරිශීලනය කරන ජන සංඛ්‍යාව හා ප‍්‍රතිශතය වැඩි අතර එදා නොතිබුණු ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් මාධ්‍යත්, ජංගම දුරකථනත් අද සමාජයේ ස්ථාපිත වෙලා. තොරතුරු හා දැනුම ලබා ගන්නට හා බෙදා ගන්නට හැකියාව මීට වසර 50 කට වඩා අද පැහැදිළිව ම වැඩියි.

මේ ප‍්‍රමාණාත්මක දියුණවත් සමග ගුණාත්මකව දියුණුවක් ඇති වී තිබේ ද යන්න විවාදත්මකයි. අපේ ඇතැම් අය මෙන් මා යටගියාව ගැන රොමෑන්ටික් ලෙසින් අතිශයොක්තියෙන් දකින්නකු නොවේ. එහෙත් හේතුවාදීන්ගේ ස්වර්ණමය යුගයේ ඔවුන්ගේ සමාජ මෙහෙවරට අනුබල දෙන්නට, දිරි ගන්වන්නට මෙරට බුද්ධිමතුන්, කලාකරුවන්, වෘත්තිකයන් හා පුවත්පත් කතුවරයන් රැසක් ඉදිරිපත්ව සිටියා. කොවුර් නඬේ ගුරා වූවත් ඔහු ඒ අභීත බුද්ධිමය චාරිකා ගියේ ලොකු කුඩා බොහෝ දෙනාගේ ආශිර්වාදය හා සහයෝගය ඇතිවයි.

කොවුර්ගේ අභාවයෙන් පසු හේතුවාදී සංගමයට තවත් වසර කිහිපයක් නායකත්වය දුන්නේ නීතිඥයකු හා ඉංග‍්‍රීසි කවියකු ලෙස ප‍්‍රකටව සිටි මර්වින් කාසි චෙට්ටියි. එහෙත් කොවුර්ගේ යුගයේ තිබූ ක‍්‍රියාකාරීත්වය දිගට ම පවත්වා ගැනීම අභියෝගයක් වුණා. වසර ගණනාවක් අකර්මණ්‍යව තිබූ හේතුවාදී සංගමය නැවත ප‍්‍රාණවත් කරනු ලැබුවේ 2005දී. එයට හවුල් වූ ධර්මපාල සේනාරත්න එහි සභාපති හැටියට පත් වී, මිය යන තුරු ම නායකත්වය ලබා දුන්නා.

2005දී හේතුවාදී සංගමය යළි පණ ගන්වන විට ලක් සමාජය ප‍්‍රබල ලෙස වෙනස් වී තිබුණා. සංවෘත ව තිබූ ආර්ථිකය 1977දී විවෘත කිරීමෙන් හා 1979දී ටෙලිවිෂන් හදුන්වා දීමෙන් පසු බිහි වූ පළමුවන පරම්පරාව සමාජයේ විවිධ ක්‍ෂෙත‍්‍රවල බලපෑම් කිරීම ඇරැඹි තිබුණා. එමෙන් ම දකුණේ තරුණ අරගල දෙකක් ප‍්‍රචණ්ඩ හිංසනයෙන් හමාර වී, උතුරේ සන්නද්ධ යුද්ධයක් දිගින් දිගට ම දැල්වෙමින් පැවතුණා. ධනවාදී හා සමාජවාදී කඳවුරු දෙකකට බෙදා දශක ගණනක් ගෙන ගිය සීතල යුද්ධය හමාර වුණු ලෝකයක බටහිර සභ්‍යත්වය හා ඉස්ලාම් මූලධර්මවාදය අතර නොනිමෙන ගැටුමක් ඒ වෙනුවට ඉස්මතුව ඇවිත්.

මේ නිසා කොවුර් හා පිරිස 1960-1970 යුගයේ අත් විදි ශ්‍රී ලංකාවට හා ලෝකයට වඩා බෙහෙවින් වෙනස් වූ යථාර්ථයකට ධර්මපාල සේනාරත්නගේ නායකත්වයෙන් යුතු හේතුවාදී සංගමය මුහුණ දුන්නා.

හේතුවාදීන්ගේ සමාජ මෙහෙවර හා නොනිමි අභියෝග ගැන තව බොහෝ දේ කථා කළ හැකියි. මා කොවූර් ඇතුළු පුරෝගාමී හේතුවාදීන් පිරිස දකින්නේ තම කාල වකවානුවේ පැවති සමාජ තත්‍වය හොඳින් ග‍්‍රහණය කර ගෙන තීරණාත්මක සමාජ දායකත්වයක් ලබා දුන් පිරිසක් හැටියටයි. ඔවුන්ගේ මූලධර්ම තවදුරටත් වලංගු නමුත් අද වඩාත් සංකීර්ණ වූත් ඇතැම් සාධකවලින් 1960ට වඩා පසුගාමී වූත් ලක් සමාජයට බලපෑම් කරන්නට නම් හේතුවාදීන් සිය උපක‍්‍රම වෙනස් කළ යුතුයි.

අපේ මවුපියන්ගේ තරුණ අවධියේ කෙටි කලෙකින් ලක් සමාජයේ බුද්ධිමත් ස්ථරයන්ගේ පිළි ගැනීමට පාත‍්‍ර වූ ආචාර්ය කොවූර් බැරි වෙලාවත් අද මුල් වරට මෙරටට පැමිණ ඒ මෙහෙවර ම ඉටු කරන්නට තැත් කළොත් ප‍්‍රතිචාරය කෙබඳු වේවි ද?

ඔහු කියන දෙයට සවන් දෙනවා වෙනුවට ඔහුගේ සම්භවය, පෙනුම හා පසුබිම ගැන අවධානය යොමු වෙයි. ”රැවුල වවා ගත්, දකුණු ඉන්දියානු සම්භවය ඇති මලයාලි ජාතිකයෙකු අපේ සංස්කෘතික උරුමයට හා ජාතික අනන්‍යතාවයට (සමහර විට ජාතික ආරක්‍ෂාවට පවා!) තර්ජනයක් කරන බවට” චෝදනා එල්ල විය හැකියි. නැතහොත් පුවත්පත් සාකච්ඡවල දී ඔහුට ’ජාතිද්‍රෝහ’, රාජ්‍ය විරෝධි’ ලේබල් ලෙහෙසියෙන් ඇලවිය හැකියි! අදෘශ්‍යමාන භුත අවතාර හා පිල්ලි වෙනුවට නාඳුනන තුවක්කුකරුවන්ගේ තර්ජනයට ඔහු ලක් විය හැකියි!

කොවූර් නිතර උපුටා දැක් වූ ප‍්‍රියතම උද්ධෘතයක් වූයේ බුදුන් වහන්සේ කාලාම සූත‍්‍රයේ දුන් උපදේශයයි. කිසිවක් පිළිගැනීමට පෙර විචාරශීලිව විමර්ශනය කිරීමේ ක‍්‍රමවේදය සරලව හා නිරවුල්ව එහි කැටි කොට තිබෙනවා. සම්ප‍්‍රදායන්ට, කටකථාවලට, ගුරු කුලයට, ශුද්ධ ලේඛනවලට, මතවාදයන්ට, විශේෂඥයන්ට නතු නොවී තමන් ම යමක් සොයා බලා තර්කානුකූලව තේරුම් ගැනීමේ වැදගත්කම එයින් අවධාරණය කැරෙනවා.

කොවූර් සහ ඔහුගේ හේතුවාදී සහෘදයන්ගේ ක‍්‍රමවේදයත් එයයි.
බහුතර බෞද්ධයන් සිටින මේ රටේ අති බහුතරයක් දෙනා නොකරන්නේත් එයමයි!

About these ads

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.

Join 88 other followers

%d bloggers like this: